Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

August 2016
S M T W T F S
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
We have 19 guests online

 

 

ආපදාවටපත් ජනතාවට අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර එක්රැස් කිරීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම්ගේ අධීක්ෂණය යටතේ මධ්‍යස්ථාන 17 ක්

ආපදාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර එක්රැස් කිරීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ අධීක්ෂණය යටතේ මාතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 17 ක් පිහිටුවීමට කටයුතු කර තිබේ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මාතර, හක්මණ, පිටබැද්දර, පස්ගොඩ, දික්වැල්ල, මුලටියන, මාලිම්බඩ, දෙවිනුවර, අකුරැස්ස, කොටපොල, කිරින්ද - පුහුල්වැල්ල, කඹුරුපිටිය, වැලිගම, අතුරලිය, තිහගොඩ හා වැලිපිටිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආධාර එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යති.

පානීය ජල බෝතල්, ළදරු කිරිපිටි, ළදරුවන් සඳහා සනීපාරක්ෂක යට ඇඳුම්, පැදුරු හා කොට්ට, ලන්තෑරුම්, පාසල් ළමුන්ගේ උපකරණ, ළිං පිරිසිදු කිරීමට වතුර පොම්ප, ජෙනරේටර්, කඳවුරු ගොඩනැගිලි සඳහා ජනෙල් ආවරණ, ජල බවුසර්, කාන්තාවන් සඳහා අවශ්‍ය ඇඳුම් කට්ටල, පිරිමින් සඳහා අවශ්‍ය ඇඳුම් කට්ටල, මුළුතැන්ගෙයි උපකරණ කට්ටල, වියළි ආහාර පාර්සල්, තාවකාලික ආවරණ (ටෙන්ට්), බ්ලැන්කට් හා අනාථ කඳවුරු වලට අවශ්‍ය වෙනත් ආධාර එක් රැස් කිරීම මෙහි දී සිදු කෙරේ.

එක්රැස් කරන ද්‍රව්‍යමය ආධාර කොළඹ, ගම්පහ, කෑගල්ල, රත්නපුර හා කිලිනොච්චිය යන ආපදාවට පත් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත බාරදීමට නියමිත ය.

 

2016 වෙසක් පොහොය නිමිත්තෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආගමික වැඩසටහන් රැසක්

2016 වර්ෂයේ වෙසක් පොහොය නිමිත්තෙන් මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදෙස් මත ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු කර තිබේ.

බුදු රජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම යන ත්‍රිවිධ අවස්ථා මුල් කර ගනිමින් ලොව පුරි බෞද්ධ බැතිමතුන් දාන, හීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සහිත විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කරති.

දින හතක් පුරා පැවැත්වීමට නියමිත මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය බෞද්ධාගමික වැඩසටහන් මාලාව ආරම්භ වන්නේ මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ දායකත්වයෙන් අද (18) දින දවස පුරා බෞද්ධාගමික ගීත කාර්යාල පරිශ්‍රය තුළ ප්‍රචාරය කිරීමෙනි. එසේ ම අද ප.ව. 3.00 ට සමගි ඵලදායිතා කවය මගින් සුමධුර ධර්ම දේශනයක් වැවැත්වීමට කටයුතු කෙරේ.

මැයි 19 වැනි දින පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් භාවනා වැඩසටහනක් පැවැත්වේ. මැයි 21 දින අලුත් අස්වැන්න ඵලදායිතා කවයේ මෙහෙයවීමෙන් කඩල දන්සලක් ද 21, 22, 23 දිනවල ඵලදායිතා කව අතර වෙසක් කූඩු හා වෙසක් සැරසිලි තරඟයක් ද 24 දින දවස පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභසාධක සංගමයේ මෙහෙයවීමෙන් ලේ දන්දීමේ කඳවුරක් ද එදින ම දවස පුරා ශක්ති ඵලදායිතා කවයේ මූලිකත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බෙලිමල් හා බිස්කට් දන්සල ද පැවැත්වේ. එසේම එදින දිවිනැගුම අංශයේ මූලිකත්වයෙන් මරණයට කැප වූ ගවයින් දෙදෙනෙකු නිදහස්කර සමෘද්ධි ප්‍රතිලාභීන් දෙදෙනෙකුගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් ඔවුන්ට ලබා දීමට නියමිත ය.

මෙම සියලු ආගමික කටයුතු සංවිධානය කිරීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය බෞද්ධ කටයුතු අංශය හා සංස්කෘතික අංශය සම්බන්ධීකරණ කටයුතු සිදු කරති.

 

2016.03.29 දිනමාතර කොටවිල  ගරු ක්‍රීඩා අමාත්‍යතුමාගේ සංචාරය

ක්‍රීඩා ඇමති මාතර ක්‍රීඩා සංගම් නියෝජිතයින් හමුවේ

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම සඳහා දිවයින පුරා විසිරී සිටින සියලුම ක්‍රීඩා සංගම්වල නියෝජිතයින් හමුවී ඔවුන්ගේ අදහස් හා ගැටළු විමසීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා තීරණය කොට තිබේ.

ඒ අනුව ඊයේ (29) දින මාතර දිස්ත්‍රික්කයේ සංචාරය කළ ක්‍රීඩා අමාත්‍යතුමා මාතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සංගම් නියෝජිතයින් හමු වීම මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

මෙහි දී ක්‍රීඩා සංගම් පනස් හයක් පිළිබඳව විමසීම් කරන ලද අතර ඇතැම් ක්‍රීඩාවන් සඳහා මාතර දිස්ත්‍රික්කයේ සංගම් පිහිටුවා නැත. සංගම් පිහිටුවා නොමැති ක්‍රීඩා සඳහා කඩිනමින් සංගම් පිහිටුවීමටත් දැනට මාතර නොමැති ක්‍රීඩාවන් කඩිනමින් හඳුන්වාදීමටත් කටයුතු කරන ලෙස දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරීන්ට හා ක්‍රීඩා නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.

ක්‍රීඩා සංගම් ප්‍රතිසංවිධානය කර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් හා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සියලු ම ක්‍රීඩාවන් වෙනුවෙන් සංගම් පිහිටුවිය යුතු බව ද එමෙන්ම පොලිසිය, හමුදාව, හය ශ්‍රේණියෙන් ඉහළ පාසල් ළමුන් වෙනුවෙන් හා පෞද්ගලික ආයතන වල ද ක්‍රීඩා සංගම් ඇති කළ යුතු බව ද ඇමතිවරයා පැවසී ය.

පළාත් සභා හෝ මධ්‍යම රජයේ කියා ක්‍රීඩා නිලධාරීන් අතර පවතින බෙදීම් නැති කර සියලු දෙනාම එක් මතයකට විත් ක්‍රීඩාව දියුණු කිරීමට ක්‍රියා කළ යුතු බව ද අවධාරණය කෙරිණි.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටු රැස්වීම කමිටුවේ සම සභාපතිවරුන් වන මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මැතිතුමා, දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මැතිතුමා, දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන පසඳ යාපා අබේවර්ධන හා ගයාන් සංජීව යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, ක්‍රීඩා නිලධාරීන් සහ ක්‍රීඩා සංගම් නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මාතර - කොටවිල ඉදිකෙරෙමින් පවතින ක්‍රීඩා සංකීර්ණය නිරීක්ෂණය කිරීම සඳහා ද ඇමතිවරයා එක් විය.

ඩබ්. එම්. ටී. ඉන්දික

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

මාතර

2016. 03. 30

 
Service Cluster of District Secretariat

Registrations

Issuance of
Permits / Licenses

Visa

News and Events