මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ආපදාවන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ විශේෂ ආපදා කළමනාකරණ කමිටු රැස්වීමක් ‍නොවැම්බර් මස 28 දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහි දී රට තුළ පවතින ආපදා තත්ත්වය හමුවේ මාතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සැලසීම හා ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා වැදගත් තීරණ රැසක් ගනු ලැබිණි.
ප්‍රධාන වශයෙන් නිල්වලා ගඟේ ජලය බැසයාම සදහා ලවණ බාධකය අසළ කැපූ විකල්ප ඇළ මාර්ගයේ යොදා ඇති වැලි කොට්ට කඩිනමින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත් අතර දැනට ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින පවුල් සඳහා කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය සියලු අංශ දැනුවත් කිරීම සිදුකරන ලදි.
එමෙන්ම විදුලිය බිඳවැටීම්, ජල සැපයුම් අඩාලවීම් සහ මාර්ග අවහිරවීම් කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීමට අදාළ සියලු අංශ වලට උපදසේ ලබාදෙන ලදි.
මේ අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්‍ රාජ් මහත්මිය, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම මහතා, අජන්ත ගම්මැද්දගේ මහතා, ලාල් ප්‍රේමනාත් මහතා, මාතර නගරාධිපති නීතිඥ ජයන්ත පතිරණ මහතා, ප්‍රාදේශීය සභා සභාපති වරු, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආපදා කළමනාකරණ අංශ, පොලිසිය ඇතුළු විවිධ අංශ නියෝජනය කරන පිරිසක් සහභාගි වී සිටියහ.

1432