2026 වර්ෂයේ ප්‍රථම මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටුවේ සභාපති කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 ජනවාරි මස 27 දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
 
මෙහි දී මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්.ජී. ගැමුණු හසංජය සිසුවා විසින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ඉතා දියුණු මට්ටමේ පුර්ව අනතුරු ඇගවීමේ පද්ධතියක් සාර්ථකව නිපදවා ඇති බවත් , නිල්වලා ගග කේන්ද්‍රකර ගනිමින් එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවල සහයෝගය ලබා ගැනීම සම්බන්ධවත් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගේ අවධානයට ලක්විය.
 
2025 වර්ෂයට අදාළ විමධ්‍යගත අයවැය වැඩසටහනේ ප්‍රගතිය, මාතර සනත් ජයසුරිය ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුතු, මාතර අධිවේගි බස්රථ නැවතුමේ සංවර්ධන කටයුතු, පොල්හේන උසස් පුහුණු මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර ක්‍රීඩාපිටිය ඉදිකිරීම, හක්මණ ඩිපෝවේ සංවර්ධන කටයුතු, මාතර කොටු දොර අසළ කැණීම් කටයුතු කඩිනම් කිරීම, මාතර දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාලවල පවතින ගැටළු ආදිය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.
 
මීට අමතරව දෙණියාය යොවුන් සේනාංක ගොඩනැගිල්ල නේවාසික අංග සම්පුර්ණ පුහුණු පාසලක් හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ඉදිකිරීම, අකුරැස්ස මාරඹ ළමා රැදවුම් මධ්‍යස්ථානය අඵත්වැඩියා කටයුතු, මාතර නව පරිපාලන සංකීර්ණය (කොටවිල) ඉදිරි කටයුතු, කොරියානු රජයේ මුල්‍යමය ප්‍රධානයක් ලෙස මාතර මහ රෝහල කොටවිල - ලැබීම ප්‍රදේශයට ගෙන යාම, හිරිකැටිය මුහුදු බොක්ක ආශ්‍රිතව සිදුකර ඇති ප්‍රවේශ මාර්ග අවහිර කිරීම, චාලි මවුන්ට්හි කසළ අංගනයේ වර්තමාන තත්ත්වය, උදෑසන 7.15 ට බෙලිඅත්තේ සිට මාතර දක්වා පිටත්වන දුම්රිය ගාල්ල දක්වා දික්කිරීම සදහා කරන ලද ඉල්ලීම, වැසි ජල කළමණාකරණ ව්‍යාපෘතියේ ගිවිසුම, දෙනගම මහා විද්‍යාලයේ අවදානම් සහිත පැති බැම්ම කඩා ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
 
ආපදා කළමණාකරණය , නිල්වලා ගග ආශ්‍රිත සංවර්ධන කටයුතු, පාරිසරික තත්ත්ව හා ජලගැලීම් සම්බන්ධව දැනට ක්‍රියාත්මක ක්‍රමවේද, දිස්ත්‍රික්කයේ වාරි ව්‍යාපෘති, නිල්වලා ගග ආශ්‍රිත සංවර්ධන වැඩසටහන් හා ලවණ බාධකයේදී මතුවු නව බාධක මග හරවා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව ද අවධානය යොමු විය.
 
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අනුමැතියට යටත්ව ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන 2026 පිළබදවත්, දෙයියන්දර සිලිල ජල ව්‍යාපෘතියේ පිළිබදවත්, මාතර දිස්ත්‍රික්කයේ විශේෂ කාර්ය බලකාය ප්‍රධාන කදවුරක් ඉදිකිරීමට කොටවිල ප්‍රදේශයෙන් අක්කර 3.5 ක භූමි ප්‍රමාණයක් ලබාගැනීම සම්බන්ධවත්, දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක අස්වැසුම සමාජ සුභ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ වර්තමාන ප්‍රගතිය පිළිබදවත්, මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය හා ගැටලු පිළිබද සාකච්ඡා කිරීම, දිස්ත්‍රික්කයේ ආරක්ෂක කටයුතු, රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන කටයුතු, මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන කටයුතු, කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු ධීවර හා ජලජ සම්පත් සාගර සම්පත් කටයුතු, කම්කරු කටයුතු, වැවිලි නිවාස කටයුතු, සෞඛ්‍ය හා ජනමාධ්‍ය කටයුතු වෙළද වාණිජ කටයුතු පිළිබඳව සාකච්ඡා කරන ලදි.
 
මේ අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, මාතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම මහතා, අජන්ත ගම්මැද්ද මහතා, ලාල් ප්‍රේමනාත් මහතා, මාතර නගරාධිපති, නීතිඥ ජයන්ත පතිරණ මහතා ඇතුළු මහජන නියෝජිතයින්, දකුණු පළාත් ප්‍රධාන ලේකම් දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම මුහන්දිරම් මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා, තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අමාත්‍යංශ ප්‍රධානීන්, සංස්ථා හා මණ්ඩල ප්‍රධානීන්, ආරක්ෂක අංශයේ ප්‍රධානීන්, සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
 
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ක්‍රම සම්පාදන අංශය විසින් මෙම රැස්වීම සංවිධානය කරන ලදී.
 
10000539941000053995