වැලිගම පොල් කොළ මැලවීමේ හා කුණුවීමේ රෝග මර්දන වැඩසටහනෙහි 2025 වර්ෂයේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රගතිය විමසීම හා 2026 වර්ෂයෙහි සුදානම පිළිබදව සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මාතර දිස්ත්‍රික්කයේ 2025 වර්ෂයේ ඉවත් කරන ලද පොල්ගස් වෙනුවෙන් වන්දි මුදල් ලෙස රුපියල් ලක්ෂ 328 ක මුදලක් ගෙවා අවසන් කර ඇති අතර අකුරැස්ස, අතුරලිය, දෙවිනුවර, දික්වැල්ල, කඹුරුපිටිය, කිරින්ද - පුහුල්වැල්ල, මාලිම්බඩ, මාතර, තිහගොඩ, වැලිගම, වැලිපිටිය, හක්මණ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 12 ඒ අතර වේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වසම් 26 කුත්, තංගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වසම් 16 කුත් ආවරණය වන පරිදි මෙම වන්දි ගෙවීම් අවසන් කර ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව හා ඉමදුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරි වසම් 47 කට මෙම වන්දි මුදල් ගෙවීම් අවසන් කර ඇති බව මාතර, ගාල්ල, හා හම්බන්තොට දිස්ත්‍රික් පොල්වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශිය කළමණාකරුවන් විසින් ප්‍රකාශ කරන ලදි.
මෙම රෝග මර්දනයේ දී මුහුණපාන ගැටලු හා ඒවාට ලබාදිය හැකි කඩිනම් විසදුම් පිළිබදව මෙහි දී අවධානය යොමු කළ අතර වාර්ෂිකව රුපියල් මිලියන 2500 කට ආසන්න මුදලක් රෝග මර්දනයට වෙන් කරන බැවින් එහි නියම ප්‍රතිඵල ගැනීමට සැවොම එක්ව කටයුතු කළ යුතු බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස්.විජය කීර්ති මහතා මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් ප්‍රකාශ කරන ලදි.
මේ අවස්ථාවට පොල්වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා, සාමාන්‍යාධිකාරි බී.බී. විජේසිංහ මහතා, පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා, අධ්‍යක්ෂිකා ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, ප්‍රාදේශිය ලේකම්වරු, සහකාර ප්‍රාදේශිය ලේකම්වරු, පරිපාලන ග්‍රාම නිලධාරින්, ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී වී සිටියහ.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සැලසුම් අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.







