"තමන්ගේ ම තැනක් - ලස්සන ජීවිතයක්" තේමාව යටතේ දිවයින පුරා අඩු ආදායම්ලාභී පවුල් සදහා නිවාස ඉදිකර දීමේ ජාතික වැඩසටහනට සමගාමීව 2026 වසරේ දී මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 563 ක් සදහා රුපියල් මිලියන 563 වියදමින් නිවාස ඉදිකර දීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ ‍පෙබරවාරි මස 25 වන දින ප්‍රතිලාභී පවුල් 112 ක් සදහා නිවාසාධාර ලබාදීමට අදාළ චෙක්පත් ප්‍රදානය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
 
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ලාංකීය ප්‍රජාවට උරුම කර දීම වත්මන් රජයේ ඉලක්කය අනුව අඩු ආදායම්ලාභී සියලුම පවුල්වල ජනතාවගේ නිවාස ආශ්‍රිත ගැටළු වලට විසඳුම් සෙවීම ද එම ඉලක්ක යථාර්ථවත් කිරීමේ ප්‍රමුඛතම අංගයක් වන අතර ඒ වෙනුවෙන් නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මගින් වැඩසටහන් රාශියක් 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
 
ඉන් ප්‍රමුඛතම වැඩසටහන වන " තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක් '' නිවාස ආධාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි. දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම එක් නිවසක් බැගින් ග්‍රාම නිළධාරී වසම් 14,016 ආවරණය වන පරිදි පැල්පත් හෝ තාවකාලික නිවාසවල ජීවත් වන ප්‍රජාව වෙත නව නිවසක් ඉදිකර ගැනීම සදහා ආධාර මුදලක් පිරිනැමීම මේ යටතේ සිදු කෙරේ.
 
ඉන් නිවාස 9,700 ක් 2026 වසරේ දී නිම කිරීම අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 9,700 කි. එක් නිවසක් ඉදිකිරීම වෙනුවෙන් පිරිනැමෙන මුදල රුපියල් ලක්ෂ 10 කි.
 
මේ අවස්ථාවට නිවාස ප්‍රතිලාභීන්, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.10000597441000059742