රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මාතර - දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ 767 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යය 2024 ජූලි මස 06 වැනි සෙනසුරාදා දින අළුයම යෙදෙන සුබ මොහොතින් කප් සිටුවීමත් සමඟ ආරම්භ කෙරේ.

දෙවිනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය පිළිබඳව වූ විශේෂ සාකච්ඡාවක් අද (14) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

දින හයක් පුරා සන්ධ්‍යා භාගයේ දී පේළි පෙරහැර පැවැත්වෙන අතර ඒ අනුව පළමුවන පේළි පෙරහැර පිටත්වීම 2024 ජූලි මස 14 වැනි ඉරිදා දින ප.ව. 3.00 න් පසුව යෙදෙන සුබ මොහොතින් ද, දෙවන පේළි පෙරහැර පිටත්වීම 2024 ජූලි මස 15 වැනි සඳුදා දින ප.ව. 4.00 න් පසුව යෙදෙන සුබ මොහොතින් ද, තුන්වන පේළි පෙරහැර පිටත්වීම 2024 ජූලි 16 වැනි අඟහරුවාදා දින ප.ව. 5.00 න් පසුව යෙදෙන සුබ මොහොතින් ද, හතරවන පේළි පෙරහැර පිටත්වීම 2024 ජූලි 17 වැනි බදාදා දින  ප.ව. 4.00 න් පසුව යෙදෙන සුබ මොහොතින් ද, පස්වන පේළි පෙරහැර පිටත්වීම 2024 ජූලි 18 වැනි බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 න් පසුව යෙදෙන සුබ මොහොතින් ද, හයවන පේළි පෙරහැර පිටත්වීම 2024 ජූලි 19 වැනි සිකුරාදා දින ප.ව. 5.00 න් පසුව යෙදෙන සුබ මොහොතින් ද සිදු කිරීමට නියමිත ය.

ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන ජූලි 20 වැනි සෙනසුරාදා දින ප.ව. 3.00 න් පසුව යෙදෙන සුබ මුහුර්තියෙන් දක්ෂිණ දිසාභිමුඛව දේවලයෙන් පිටත්ව දකුණු වාහල්කඩින් පෙරහැර මාර්ගයට පිවිස ඉතා උත්කර්ෂවත් අන්දමින් රන්දෝළි මහා පෙරහැර වීථි සංචාරය කෙරේ.

අලි ඇතුන් සහිතව පැවැත්වෙන රන්දෝළි මහා පෙරහැර සඳහා නර්තන කණ්ඩායම් සියයකට අධික ප්‍රමාණයක් සහභාගි කරවීමට සැලසුම් කර තිබේ.

චන්ද්‍රබාහු නම් ආක්‍රමණිකයාගෙන් රට බේරා ගැනීම සඳහා දෙවිනුවර උත්පලවර්ණ දෙවියන්ට වූ භාරයක් ඔප්පු කරනු වස් දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 1257 දී ප්‍රථම වරට දෙවිනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය ආරම්භ කරන ලදි.

2024 ජුලි මස 20 වැනි සෙනසුරාදා දින සිට 2024 ජුලි මස 26 වැනි සිකුරාදා දින දක්වා සල්පිල පැවැත්වේ.

2024 ජුලි මස 26 වැනි සෙනසුරාදා දින තුන්යම් රාත්‍රිය මුළුල්ලේ දේව තොවිලය නොහොත් කෝල්මුර යාගය පවත්වා ගිණි පාගා 2024 ජුලි මස 27 වැනි සෙනසුරාදා දින දහවල් මහා දේව දානය පැවැත්වීමෙන් අනතුරුව ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු නිමාවට පත් කෙරේ.‍

මේ අවස්ථාවට දෙවිනුවර ඓතිහාසික පරම විචිත්‍රාරාම රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති අමරපුර මහා සංඝ සභාවේ කල්‍යාණ වංශ පාර්ශවයේ මහානායක දෙවිනුවර සිරි සුනන්ද නාහිමියන් ඇතුළු ගරුතර මහාසංඝ රත්නය, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලියම් විජේසිංහ ගමගේ මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා, ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංඛ මහතා, ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්ධර තිස්ස මහානාම මහතා ඇතුළු පෙරහැර කමිටුවට සම්බන්ධ සියලු ආයතන හා නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

41

78

26

53