මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වී තිබෙන ආපදාවන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ විශේෂ ආපදා කළමනාකරණ කමිටු රැස්වීමක් දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහි දී ආණ්ඩුකාරවරයා අවධාරණය කරන ලද්දේ ඉදිරි දින දෙක ඇතුළත ඇතිවන වර්ෂා තත්ත්වය සහ දැනට පවතින ගංවතුර තත්ත්වය පහළට ගලා ඒමේ දී මාලිම්බඩ, තිහගොඩ හා මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයට මුහුණදීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි. දැනට පවතින ගංවතුර තත්ත්වයට සහ ඉදිරියේ දී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය වෙනුවෙන් ආපදාවට පත්වන පිරිස් සඳහා සුරක්ෂිත මධ්‍යස්ථාන දාහතරක් ඇති කිරීමටත් අවශ්‍යයතා මත තවදුරටත් සුරක්ෂිත මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා පාසල් ලබා ගැනීමටත් සැලසුම් සකස් කර ඇති බව සහ ආපදාවට ලක්වන පිරිස් සඳහා පිසූ ආහාර සහ වියළි ආහාර ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ද අවධාරණය කෙරිණි.

සහන සැලසීමේ කටයුතු සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසියේ සහාය ද ලබාගෙන ඇති අතර සහන කටයුතු සඳහා ජනාධිපතිවරයා විසින් අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරයා වෙත මේ වන විට ලබා දී ඇතැයි ද අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසී ය.

අවතැන් වී ඇති පුද්ගලයන්ගේ අවශ්‍යතා, සුරක්ෂිත මධ්‍යස්ථාන පිහිටුවීම සහ එහි අවශ්‍යතා, මෙහෙයුම් කටයුතුවලට අවශ්‍ය හමුදා පිරිස්, යාත්‍රා, රථ වාහන සහ උපකරණ, අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට එම ආයතන අතර සම්බන්ධීකරණය, ඇති විය හැකි අනතුරු පාලනය කර ගැනීමේ සැලසුම් සහ මූල්‍ය අවශ්‍යතා පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමත් අවශ්‍ය මුල්‍ය සහ අනෙකුත් සම්පත් මධ්‍යම රජය සහ පළාත් සභාව මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට,ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට, පළාත් පාලන ආයතනවලට සහ ආපදා කළමණාකරන මධ්‍යස්ථානයට ලබා දීම සහ අනුමැතිය ලබා දීම පිළිබඳව අවධානය යොමු කරන ලදි.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් සිවිල් සමාජ සංවිධාන සම්මේලනයේ සභාපති යටලමත්තේ විපස්සි නාහිමි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා ඇතුළු ප්‍රදේශයේ ජන නියෝජිතයින් මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

c a

g b

h f

e