ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් හිංසනය හා ප්රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර - පීක්වැල්ල ගග අද්දර උත්සව ශාලාවේ දී පැවැත්විණි.
අදාළ රාජ්‍ය නිලධාරීන් හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳ පණිවිඩය ගම් මට්ටමට රැඟෙන යාම සිදු කෙරේ.
මෙහි දී ගෘහස්ථ හිංසනය පමණක් නොව බස් රථ තුළ, දුම්රිය තුළ, කාර්යාලයේ දී, පොදු ස්ථානවල දී මෙන්ම ජනාකීර්ණ ස්ථානයන්හි දී කාන්තාවන්ට සිදුවන හිංසාකාරී තත්ත්වයෙන්, ඉන් ඇතිවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳව හා එම තත්ත්වයන් මග හරවා ගැනීම සඳහා තනි තනිව මෙන්ම සමාජයක් ලෙස ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරිණි. මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දේශක හා පුහුණුකරු වී.වීරසිංහම් මහතා විසිනි.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය වැළැක්වීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කරන පිරිසක් නිර්මාණය කිරීම තුළින් සමාජ පරිවර්තනයක් සිදු කිරීම අරමුණුකර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවන ලදි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) එක්ව බහු ආංශික සේවා සම්බන්ධීකරණය හරහා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ හිංසනයන්, හානිකර භාවිතයන් වැළැක්වීම හා ප්‍රතිචාර දැක්වීම සඳහා වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර ඊට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය සහිතව මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.














