ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ මාතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙල - 2024, මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා විසින් නිළ වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව මාතර උයන්වත්ත පාපන්දු ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

මෙහි දී පෙනීමේ අපහසුතා සහිත තැනැත්තන් සඳහා වූ තරග, කථන හා ශ්‍රවණ අපහසුතා සහිත තැනැත්තන් සඳහා වූ තරග, අංග චලන අබාධ සහිත තැනැත්තන් (රෝද පුටු භාවිතා කරන) සඳහා වූ තරඟ, කෘතිම පාද, කෘතිම අත් පළඳින හා ඒ හා සමාන ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ තරඟ, සෙමෙන් මනස වැඩෙන, ඔටිසම් හා මිහිමිත් පුරවැසියන් සඳහා වූ තරඟ ආදී වශයෙන් තරග ඉසව් 60 ට අධික ප්‍රමාණයක් පවත්වන ලදි.

ආබාධ සහිත තැනැත්තන්ගේ ක්‍රීඩා හැකියාව වර්ධනය කර ගැනීමට මෙන්ම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තරඟවලට ඉදිරිපත්වීම සඳහා සම අවස්ථා සලසාදීම මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අරමුණු වේ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව මෙම ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ මාතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙල සංවිධානය කරන ලද අතර පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ද මේ සඳහා ලබාදෙන ලදි.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ම නියෝජනය වන පරිදි ආබාධ සහිත තරගකරුවන්, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් වැල්ලහේවා මහතා ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් ආරිවංශ කණ්ඩම්බි මහතා, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසය නියෝජනය කරමින් සමාජ සේවා නිලධාරීන්, ආබාධ සහිත තැනැත්තන්ගේ භාරකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන්ගේ ද සහාය ඇතිව අදාළ සම්බන්ධීකරණ කටයුතු මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය හා දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සම්පත් පුෂ්පකුමාර මහතා විසින් සිදු කරන ලදි.

11 n