"තමන්ගේ ම තැනක් - ලස්සන ජීවිතයක්" තේමාව යටතේ දිවයින පුරා අඩු ආදායම්ලාභී පවුල් සදහා නිවාස ඉදිකර දීමේ ජාතික වැඩසටහනට සමගාමීව 2026 වසරේ දී මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 563 ක් සදහා රුපියල් මිලියන 563 වියදමින් නිවාස ඉදිකර දීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ ‍පෙබරවාරි මස 25 වන දින ප්‍රතිලාභී පවුල් 112 ක් සදහා නිවාසාධාර ලබාදීමට අදාළ චෙක්පත් ප්‍රදානය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
 
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ලාංකීය ප්‍රජාවට උරුම කර දීම වත්මන් රජයේ ඉලක්කය අනුව අඩු ආදායම්ලාභී සියලුම පවුල්වල ජනතාවගේ නිවාස ආශ්‍රිත ගැටළු වලට විසඳුම් සෙවීම ද එම ඉලක්ක යථාර්ථවත් කිරීමේ ප්‍රමුඛතම අංගයක් වන අතර ඒ වෙනුවෙන් නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මගින් වැඩසටහන් රාශියක් 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
 
ඉන් ප්‍රමුඛතම වැඩසටහන වන " තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක් '' නිවාස ආධාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි. දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම එක් නිවසක් බැගින් ග්‍රාම නිළධාරී වසම් 14,016 ආවරණය වන පරිදි පැල්පත් හෝ තාවකාලික නිවාසවල ජීවත් වන ප්‍රජාව වෙත නව නිවසක් ඉදිකර ගැනීම සදහා ආධාර මුදලක් පිරිනැමීම මේ යටතේ සිදු කෙරේ.
 
ඉන් නිවාස 9,700 ක් 2026 වසරේ දී නිම කිරීම අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 9,700 කි. එක් නිවසක් ඉදිකිරීම වෙනුවෙන් පිරිනැමෙන මුදල රුපියල් ලක්ෂ 10 කි.
 
මේ අවස්ථාවට නිවාස ප්‍රතිලාභීන්, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.10000597441000059742
"ගොඩනගමු ශ්‍රී ලංකා "තේමාව පෙරදැරි කර ගනිමින්  මෙවර 78 වන නිදහස්  දින සමරු උත්සවයට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිදහස් දින උළේල මාතර දිස්ත්‍රික් ලේකම් /දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.02.04 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
 
ප්‍රථමව ජාතික ධජය එසවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අතිගරු  ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතා කළ කතාවට සවන්දුන් සියළුම නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ජාතිකාභිමානී ගී ප්‍රසංගයක්පවත්වන ලදී.
 
ඉන් අනතුරුව ජාතික නිදහස් දිනයට සමගාමීව මාතර මහ රෝහල සම්පූර්ණයෙන් පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පැවති අතර වාට්ටු අංක නමයෙහි රෝගී ඇඳන්,කබඩ් හා සම්පූර්ණ වාට්ටු සංකීර්ණයම තීන්ත ගා ආලේප කාරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් සිය ශ්‍රමය කැප කරන ලදී. ඊට අවශ්‍ය තීන්ත පින්සල් හා අනෙකුත් අමුද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සම්පාදනය කරගත් අතර සියළු නිලධාරීන් සිය ශ්‍රමය ඉමහත් කැපවීමෙන් ලබා දෙන ලදී.
 
මෙම අවස්තාවට දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතාත් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)කුසලක නානායක්කාර මහතාත් සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මියත් මාණ්ඩලික නිලධාරීන් අතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය උදුල විදානගේ මහත්මියත් රෝහල් කාර්ය මණ්ඩලයේ බොහෝ පිරිසකුත් මෙම අවස්තාවට සහභාගී වූහ.
 
 1000058038   1000058039   1000058040  1000058035
2026 වර්ෂයේ ප්‍රථම මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටුවේ සභාපති කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 ජනවාරි මස 27 දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
 
මෙහි දී මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්.ජී. ගැමුණු හසංජය සිසුවා විසින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ඉතා දියුණු මට්ටමේ පුර්ව අනතුරු ඇගවීමේ පද්ධතියක් සාර්ථකව නිපදවා ඇති බවත් , නිල්වලා ගග කේන්ද්‍රකර ගනිමින් එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවල සහයෝගය ලබා ගැනීම සම්බන්ධවත් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගේ අවධානයට ලක්විය.
 
2025 වර්ෂයට අදාළ විමධ්‍යගත අයවැය වැඩසටහනේ ප්‍රගතිය, මාතර සනත් ජයසුරිය ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුතු, මාතර අධිවේගි බස්රථ නැවතුමේ සංවර්ධන කටයුතු, පොල්හේන උසස් පුහුණු මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර ක්‍රීඩාපිටිය ඉදිකිරීම, හක්මණ ඩිපෝවේ සංවර්ධන කටයුතු, මාතර කොටු දොර අසළ කැණීම් කටයුතු කඩිනම් කිරීම, මාතර දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාලවල පවතින ගැටළු ආදිය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.
 
මීට අමතරව දෙණියාය යොවුන් සේනාංක ගොඩනැගිල්ල නේවාසික අංග සම්පුර්ණ පුහුණු පාසලක් හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ඉදිකිරීම, අකුරැස්ස මාරඹ ළමා රැදවුම් මධ්‍යස්ථානය අඵත්වැඩියා කටයුතු, මාතර නව පරිපාලන සංකීර්ණය (කොටවිල) ඉදිරි කටයුතු, කොරියානු රජයේ මුල්‍යමය ප්‍රධානයක් ලෙස මාතර මහ රෝහල කොටවිල - ලැබීම ප්‍රදේශයට ගෙන යාම, හිරිකැටිය මුහුදු බොක්ක ආශ්‍රිතව සිදුකර ඇති ප්‍රවේශ මාර්ග අවහිර කිරීම, චාලි මවුන්ට්හි කසළ අංගනයේ වර්තමාන තත්ත්වය, උදෑසන 7.15 ට බෙලිඅත්තේ සිට මාතර දක්වා පිටත්වන දුම්රිය ගාල්ල දක්වා දික්කිරීම සදහා කරන ලද ඉල්ලීම, වැසි ජල කළමණාකරණ ව්‍යාපෘතියේ ගිවිසුම, දෙනගම මහා විද්‍යාලයේ අවදානම් සහිත පැති බැම්ම කඩා ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
 
ආපදා කළමණාකරණය , නිල්වලා ගග ආශ්‍රිත සංවර්ධන කටයුතු, පාරිසරික තත්ත්ව හා ජලගැලීම් සම්බන්ධව දැනට ක්‍රියාත්මක ක්‍රමවේද, දිස්ත්‍රික්කයේ වාරි ව්‍යාපෘති, නිල්වලා ගග ආශ්‍රිත සංවර්ධන වැඩසටහන් හා ලවණ බාධකයේදී මතුවු නව බාධක මග හරවා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව ද අවධානය යොමු විය.
 
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අනුමැතියට යටත්ව ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන 2026 පිළබදවත්, දෙයියන්දර සිලිල ජල ව්‍යාපෘතියේ පිළිබදවත්, මාතර දිස්ත්‍රික්කයේ විශේෂ කාර්ය බලකාය ප්‍රධාන කදවුරක් ඉදිකිරීමට කොටවිල ප්‍රදේශයෙන් අක්කර 3.5 ක භූමි ප්‍රමාණයක් ලබාගැනීම සම්බන්ධවත්, දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක අස්වැසුම සමාජ සුභ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ වර්තමාන ප්‍රගතිය පිළිබදවත්, මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය හා ගැටලු පිළිබද සාකච්ඡා කිරීම, දිස්ත්‍රික්කයේ ආරක්ෂක කටයුතු, රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන කටයුතු, මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන කටයුතු, කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු ධීවර හා ජලජ සම්පත් සාගර සම්පත් කටයුතු, කම්කරු කටයුතු, වැවිලි නිවාස කටයුතු, සෞඛ්‍ය හා ජනමාධ්‍ය කටයුතු වෙළද වාණිජ කටයුතු පිළිබඳව සාකච්ඡා කරන ලදි.
 
මේ අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, මාතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම මහතා, අජන්ත ගම්මැද්ද මහතා, ලාල් ප්‍රේමනාත් මහතා, මාතර නගරාධිපති, නීතිඥ ජයන්ත පතිරණ මහතා ඇතුළු මහජන නියෝජිතයින්, දකුණු පළාත් ප්‍රධාන ලේකම් දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම මුහන්දිරම් මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා, තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අමාත්‍යංශ ප්‍රධානීන්, සංස්ථා හා මණ්ඩල ප්‍රධානීන්, ආරක්ෂක අංශයේ ප්‍රධානීන්, සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
 
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ක්‍රම සම්පාදන අංශය විසින් මෙම රැස්වීම සංවිධානය කරන ලදී.
 
10000539941000053995
වැලිගම පොල් කොළ මැලවීමේ හා කුණුවීමේ රෝග මර්දන වැඩසටහනෙහි 2025 වර්ෂයේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රගතිය විමසීම හා 2026 වර්ෂයෙහි සුදානම පිළිබදව සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
 
මාතර දිස්ත්‍රික්කයේ 2025 වර්ෂයේ ඉවත් කරන ලද පොල්ගස් වෙනුවෙන් වන්දි මුදල් ලෙස රුපියල් ලක්ෂ 328 ක මුදලක් ගෙවා අවසන් කර ඇති අතර අකුරැස්ස, අතුරලිය, දෙවිනුවර, දික්වැල්ල, කඹුරුපිටිය, කිරින්ද - පුහුල්වැල්ල, මාලිම්බඩ, මාතර, තිහගොඩ, වැලිගම, වැලිපිටිය, හක්මණ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 12 ඒ අතර වේ.
 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වසම් 26 කුත්, තංගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වසම් 16 කුත් ආවරණය වන පරිදි මෙම වන්දි ගෙවීම් අවසන් කර ඇත.
 
ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව හා ඉමදුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරි වසම් 47 කට මෙම වන්දි මුදල් ගෙවීම් අවසන් කර ඇති බව මාතර, ගාල්ල, හා හම්බන්තොට දිස්ත්‍රික් පොල්වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශිය කළමණාකරුවන් විසින් ප්‍රකාශ කරන ලදි.
 
මෙම රෝග මර්දනයේ දී මුහුණපාන ගැටලු හා ඒවාට ලබාදිය හැකි කඩිනම් විසදුම් පිළිබදව මෙහි දී අවධානය යොමු කළ අතර වාර්ෂිකව රුපියල් මිලියන 2500 කට ආසන්න මුදලක් රෝග මර්දනයට වෙන් කරන බැවින් එහි නියම ප්‍රතිඵල ගැනීමට සැවොම එක්ව කටයුතු කළ යුතු බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස්.විජය කීර්ති මහතා මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් ප්‍රකාශ කරන ලදි.
 
මේ අවස්ථාවට පොල්වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා, සාමාන්‍යාධිකාරි බී.බී. විජේසිංහ මහතා, පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා, අධ්‍යක්ෂිකා ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, ප්‍රාදේශිය ලේකම්වරු, සහකාර ප්‍රාදේශිය ලේකම්වරු, පරිපාලන ග්‍රාම නිලධාරින්, ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී වී සිටියහ.
 
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සැලසුම් අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
 
  10000564401000056439
 
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීම හා ඒ සම්බන්ධයෙන් පවතින විවිධ ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින් 2026 වර්ෂයේ ජනවාරි මාසයට අදාළ මාතර දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම් සාකච්ඡාව මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2026 ජනවාරි 22) දින මාතර දිස්ත්‍රික් ලේකම් නිළ සාකච්ඡා මැදිරියේ දී පැවැත්විණි.
 
මෙහි දී 2026 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් සහ 2025 වර්ෂය පුරා ක්‍රියාත්මක වු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලිණි.
 
2025 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වු ව්‍යාපෘතිවලින් විමධ්‍යගත අයවැය වැඩසටහනට අදාළ ව්‍යාපෘති 53 ක වැඩ සම්පුර්ණයෙන්ම අවසන් වී ඇති බවත් ඒ සදහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 750 කට ආසන්න බවත් අනාවරණය විය.
 
එමෙන් ම 2026 නව වර්ෂයට අදාළව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් වලදීත් යටිතල පහසුකම් සංවර්ධනයන්වලදීත් වඩාත් ප්‍රයෝජනවත් ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ඒවායේ ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පැවතිය යුතු බවත් දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා අදහස් දක්විම්න පැවසී ය. 
 
ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන්, ප්‍රජා ශක්ති වැඩසටහන, ආගමික ස්ථාන සංවර්ධනය හා දහම් පාසල් අධ්‍යාපනයේ ප්‍රගතිය සහ ආහාර සුරක්ෂිතභාවය හා මහජන සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි ද මෙහි දී අවධානය යොමු විය.
 
සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් පවතින ගිණුම් හා බැංකු කටයුතු වල දී පැන නගින ගැටලු පිළිබදව මෙහි දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරි ටී.ජී.එම්. සුධර්මන් මහතාගේ අවධානය යොමු වු අතර හදුනාගත් ගැටලු වලට කඩිනමින් විසදුම් ලබාදීමට යෝජනා විය.
 
පාලන කටයුතු පිළිබඳව අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා විසින් අදහස් දැක්වු අතර ග්‍රාම නිලධාරි කාර්යාල අධීක්ෂණය, අභ්‍යන්තර කටයුතු ඒකකය, සමෘද්ධි කාර්යාලවල ක්‍රමවේදයන්, ජනාධිපති අරමුදල හා පැනනැගුණු ගැටලු පිළිබදව විසදුම් හා යෝජනා සාකච්ඡාවට යොමු කරන ලදි.
 
ඉඩම් ආශ්‍රිත ගැටලු, Clean Sri Lanka ව්‍යාපෘතියේ නව වැඩසටහන් හා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් බදු අයකර ගැනීම පිළිබදව අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මියගේ අවධානය යොමු වුවා ය.
 
ඉංජිනේරු අංශය, අභ්‍යන්තර විගණන අංශය, සංඛ්‍යා ලේඛන අංශය, ආපදා කළමණාකරණය, අස්වැසුමේ වත්මන් ප්‍රගතිය, කුඩා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් දිරිමත් කිරීමට ගත යුතු පියවරයන් පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරිණි.
 
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දහසයම නියෝජනය කරමින් ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
 
FB IMG 1769671503552    FB IMG 1769671510694